Monday, June 28

බෞද්ධ දින දර්ශනයේ වත ගොත

බෞද්ධ දින දර්ශනය සහ ඉපැරණි දින ක්‍රම පිළිබද විස්තරාත්මක ලිපියක් බලපොරොත්තුවන්න.

Friday, January 1

2010: නව දශකයක ඇරඹුම


දශක තුනකට පසු මුළු රටම එක කොඩියක් යටතේ සමරන මෙම නව වසර ලක් වාසි අප සැමට ඉතාම නැවුම් වසරකි. එබැවින් ශ්‍රි ලංකාවේ සිව් කොන් යාකරමින් ජාති භේද දුරලා එක් මවකගෙ දරු කැලක් මෙන් එකා සැමටත් සැම එකාටත් සේ හිඳිමින් මෙම රට සියල්ලෙන්ම සපිරි පරිපූර්ණ රාජ්‍යයක් කිරීමට නව දශකය මූලාරම්භයක් කර ගනිමු.

ඔබ සැමට සුභ නව වසරක් වේවා !
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்க ள் !
Wish You A Happy New Year !

Thursday, December 24

ඔබට සුභ නත්තලක් !




හිමිදිරිය අපහැදිලි සිත්තමක් සේය
මීදුම් පටලයක් පරිසරය ආක්‍රමණය කරමින් සිටී
පිනිබිඳු තන පලස සිප සරසයි
විහඟ ගීතය පසුබිමින් නද දෙයි
සිහිල් සුළං රොද ගීතිකාවක් සේ නිම්නාද කරයි
විටෙක සිරුරේ දැවටෙමින් ගත සිත පුබුදු කරවයි
මොහොතකට නිහඬව සවන් දෙනු මැන !
හෝ හෝ හෝ සුළඟ ලතාවකට මුමුණයි
සබඳ දෙසැම්බරය පැමිණ ඇත
ඔබට සුභ නත්තලක් !


Sunday, December 6

පාට කන්ණාඩි ගැලවීමට කාලයයි මේ !

ඊනියා කොටි ත්‍රස්තවාදය මවුබිමෙන් අතුගාදමා සය මසකුත් ඉක්මවා ගොස් ඇත. සාමයේ අරුණලු රට පුරා පැතිරෙමින්පවතින අතර උතුරේ අවතැන් වූ ජනයා දිනෙන් දින තම උපන් ගම් බිම් කරා නිදහසේ යලි පියමන් කරන්නේ තිස් අවුරුද්දක් පුරා තමන් බැට කෑ ත්‍රස්තවාදයට සාප කරමින් බව ඉතාමත් පැහදිලිය. නිදහස සිත් සේ විදිමට දැන් ඔවුන්ට මෙන්ම අපටත් අවස්තාව උදා වී ඇති අතර තමන්ගේ දුවා දරුවන්ට හොද කල දවසක් යන බවට ඇති විශ්වාසය සිත් තුලට කා වැදෙන්නට පටන්ගෙන ඇත. මේ සියලු දෑ පිටිපස සිටින ඒ අභීත රණවිරුවන්, සෙන්පතියන්, රට වැසියා එලොව හෝ මෙලොව සිට දැන් ඒ පිළිබද සන්‍තෝශ වනවා නිසැකය. දිනූ දේශය සංවර්ධනයේ හිනිපෙත්තකරා ගෙන යාම සදහා දැන් අපට කාලය උදාවී ඇති අතර ඒ සදහා සැවොම පක්ෂ, පාට භේද අතහැර අත්වැල් බැද ගත යුතුව ඇත. ත්‍රස්තවාදය තුරන් කොට ඉන් පසු දිනම අපට රටේ සංවර්ධනය දැකිය නොහැක. ඒ සදහාද යම් කිසි කාලයක් වැය කලයුතුව ඇත. දෙවන ලෝක යුද්ධය අවසන්වී ඊට පසු දිනම ජපානය සංවර්ධනය නොවීය. ජපානයටද ඒ සදහා යම් කාලයක් ගතවිය. නමුත් අපේ ඇතැම් පණ්ඩිතයින් යුද්ධය අවසන් වූවත් රට තවම සංවර්ධනය වී නැතැයි කියමින් දෙස් දෙවොල් තියති. අප ඔවුන් ගැන මහත්සේ කලබල වියයුතු නැත. මක්නිසාද යත් ඉතිහාසය තුල එවැනි පුද්ගලයන් අපට ඔනෑ තරම්හමු වී ඇති අතර ඔවුන් රට වෙනුවෙන් කල දෙයක් නොමැත.

2005 වසරේ සිට මේ දක්වා කාලය දෙස අප මදක් හැරී බැලුවහොත්, රට ලබා ඇති ජයග්‍රහණ රාශියක් ඇත. නව සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සිදුකෙරෙමින් පවතියි. ලෝක ආර්ථිකය කොතෙක් දුරට කඩා වැ‍ටුනද අපේ අර්ථිකය යම් කිසි ස්ථාවර මට්ටමකට පවත්වාගැනීමට අපට හැකිවී ඇත. අපගේ කෘෂිකර්මාන්තය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ගොවියන්ගේ අපේක්ෂා ඉතාමත් සාර්ථකව මල් ඵල නැං වී ඇත. මෙකී නොකී සියලු දෑ සිදුවූයේ කුරිරු ත්‍රස්ත පිළිලය මෙරටින් අතුගා දමන අතරතුර බව වෙසෙසින්ම මතක් කල දිය යුතුව ඇත. ඇතැමුන් අද කොතෙක් කැ මොර දුන්නද සිව් අවුරුද්දක් තුල සිදු කල දෑ බොහෝ ඇත.

එළාර පරාජය කිරීමට දු‍ටුගැමුණු රජුට හැකි වූයේ නිවැරදි නායකත්වයත් අභීත රණ ශූරයනුත් නිසා බව අප කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් එම සටනින් පසු දසමහ යෝධයින් ජයග්‍රහණයේ තමාගේ පංගුව ඉල්ලා රජුට එරෙහි වූයේ නැත. පැහදිලිවම ඔවුන් එහි කොටස් කරුවන් වූවද ඔවුන් එහි පංගුව ඉල්ලා නහයෙන් ඇඩුවේ නැත. තමන් පොර වන්නට සිතුවේද නැත. 'පොර' මානසිකත්වය ඉහට ගැහූ කල කන්න දීපු අතද හපා කයි. බුද්ධිමත් පුද්ගලයින් එසේ හසිරෙනේ නැත. එබැවින් අනවශ්‍ය ලෙස ඔවුන් විවේචනය කිරීමද කාලය කා දැමීමක් පමණි.

මේ රටේ ඇතැම් ජනයා විවිධ පාටින් කන්ණාඩි පැළදගෙන ප්‍රශ්න දෙස බලති. නමුත් ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ නායකයින් දැන් කන්ණාඩි කුඩු කරගෙන ඇත. තව දුරටත් කන්ණාඩි පැළදගෙන සිටීමෙන් ඵලක් නැත. එබැවින් දැන් පැමිණ ඇත්තේ තමන්ට පරම්පරාවෙන් උරුම වූ පාට කන්ණාඩිය ගැලවීමට කාලයයි. සැම විටම පියවි ඇසින් සහ විවෘත මනසින් කරුණු විමසා කටයුතු කිරීම නුවණට හුරු බව අවසානයේ මතක් කිරීමට කැමත්තෙමි.

Monday, November 2

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නොහොත් Global warming

විසිවන සියවසේ මැද භාගයේ සිට මේ දක්වා  පෘථිවි පෘෂ්ඨයට ඉතාම ආසන්නයේ ඇති වාතයේ සහ මුහුදේ උෂ්නත්වය ඉහළ යාමේ සාමාන්‍ය අගය අප ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (ගෝලීය තාපනය) ලෙස හන්දුන්වනු ලබනවා. IPCC ( කාලගුණය වෙනස්වීමේ අන්තර්-රාජ්‍ය කමි‍ටුව ) කමි‍ටුව පවසන්නේ මෙම උෂ්නත්වය ඉහල යාම සැලකිය යුතු මට්ටමකට පැමිණ ඇත්තේ විසිවන සියවසේ මැද භාගයේ පමණ සිට බවයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන දහනය, කැලෑ කපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන වායුගෝලයේ පවතින හරිතාගාර වායූන්ගේ සාන්ද්‍රනය ඉහළ යාමයි.  පසුගිය ශතවර්ශය පුරාවට (1900 - 2000) ගෝලීය උෂ්ණත්වය 0.74 ± 0.18 °C (1.33 ± 0.32 °F) කින් ඉහළ ගොස් ඇත.එම කමි‍ටුව තවදුරටත් පවසන්නේ කාර්මික විප්ලවයට පෙර යුගයේ සිට 1950 දක්වා කාලය තුල සූර්ය විකිරණ සහ ගිනි කදු මගින් යම් පමණක උෂ්නත්වය ඉහළ යාමක් සිදුවී ඇති බවයි.මෙම සියලුම නිගමනයන් ප්‍රකාශ කොට ඇත්තේ ලෝකයේ 40 කට වඩා වැඩි  විද්‍යා සංගම් සහ කාර්මික රටවල ශාස්ත්‍රිය විද්‍ය පීඨ විසිනි.

කාලගුණික මොඩලයන්ට අනුකූලව නවතම IPCC දත්ත වාර්තා සදහන් කරන්නේ 21 වන ශතවර්ශය තුල ගෝලීය උෂ්ණත්වය 1.1 සිට 6.4 °C (2.0 සිට11.5 °F)  කින් ඉහළ යාමක් බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි  බවයි. අනාගතය තුල පිටකරන හරිතාගාර වායුන්ගේ ප්‍රමාණය ඒ සදහා බලපාන බව ඔවුන්ගේ මතයයි. එවගේම මෙම උෂ්නත්ව වෙනස්වීම් ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස් වේ. කෙසේ නමුත් හරිතාගර වායූන් මුදාහැරීම නැවැත්වූවත් මුහුදේ පවතින විශාල තාප ධාරිතාගුණයත්, කාබන් ඩයිඔක්සයිඩ්(CO2)  වල දිගුකල් පවැත්මේ ගුණයත් හේතුකොටගෙන 2100 න් පසුවත් උෂ්නත්වය වැඩිවීම බලාපොරොත්තු වියහැක.

මෙම ගෝලීය උණුසුම ඉහළයාම නිසා විවිධ අහිතකර බලපෑම් ඇතිවන අතර,

- මුහුදු මට්ටම ඉහළයැම
- ග්ලැසියර දියවීම
- කාලගුණ විපර්යාස සිදුවීම
- කෘෂිකර්මාන්තය අඩාල වීම

වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. එබැවින් මෙය අවමකරගැනීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සොයාබැලීම සදහා දේශපාලනිකව සහ පොදු විවාද පවතින අතර දැනට හදුනාගත්  ක්‍රියාමාර්ග අතර, 

- හරිතාගාර වායූන් තවදුරටත් පිටවීම අවම කිරීම
- භූ ඉන්ජිනේරු තාක්ෂණය තුලින් ප්‍රතිවර්තනය

යන ක්‍රියාමාර්ග වැදගත් තැනක් ගනී. බොහෝ රජ්‍යයන් දැනටමත් හරිතාගාර වායූන් තවදුරටත් පිටවීම අවම කිරීමේ Kyoto කෙ‍ටුම්පතට අත්සන් තබා ඇත. ඒ අතර ශ්‍රි ලංකාවත් සිටීම උදෙක්ම සන‍තෝෂයට කරුණක් බව  දැන්වීමට කැමැත්තෙමි.
එදිනෙදා රාජකාරි සදහා තමන්ගේ  වාහනයක් භාවිත නොකොට  කන්කෙදිරි ගාමින් හෝ බස් වල ගමන් කරන ජනතාවට සතු‍ටුවියහැකි කාරණයක් ඉතිරිවී  ඇති බවද මේ සමග මතක් කිරීමට කැමැත්තෙමි. 

සොභා සොදුරු සිරි මෙලොවේ ‍රැකගැනීම යුතුකම වේ !

Friday, October 23

ඔබ ඔබමද ?




මොහොතකට නතරවන්න !
නිදහසේ සිතන්න
සිතට ඉඩ හරින්න

ඔබ සිටින්නේ කොහිද?
ඔබ මෙහි කුමක් කරන්නෙහිද?
ඔබට ඔබ ආදරේද?

ඔබම සිතන්න

ඔබ යන්නේ කොහිද?
ඔබ නතරවන්නේ කොහිද?
ඔබත් එක් වහලෙක් පමණද?

ඔබට ඔබ පමණය
මට මා පමණය
ඔබ ඔබම වන්න !



Sunday, October 4

ශ්‍රී ලංකා යුද හමුදාව සතුරා පමණක් නෙවෙයි ලෝකයම පුදුමයට පත් කළා - ජනපති

ශ්‍රී ලංකා යුද හමුදාවේ 60 වන සංවත්සරය නිමිත්තෙන්, එහි '60 වසරක අභිමානය' සනිටුහන් කරමින් පැවැත්වීමට නියමිත දැවැන්ත ප්‍රදර්ශනයේ සමාරම්භය ඊයේ (ඔක්තෝබර් 03) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු විය.
යුද විරුවන් විසින් පුරා දශක දෙකක කාලයක් මුළුල්ලේ මාතෘ භූමිය නමින් සිදු කරන ලද අමිළ සේවය හා කැපවීම පිළිඹඳ මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රණාමය සිදු කරන ලද්දේ මෙසේය :
''60 වසරක ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අනගිභවනීයම සංවත්සරය පවත්වන්නේ අද බව කියන්න ඕනෑ. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ අනභිභවනීය බව නිරායාශයෙන්ම දිනා ගත්ත‍ා නෙවෙයි. මේ ගෙවුණු දශක තුනක කාලය තුළ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හුමුදාවේ විසිහය දහසක් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. එයින් විසිතුන් දහසකට වැඩි පිරිසක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ. එයින් පෙනෙනවා යුධ හමුදාව කළ කැප කිරීම. මාවිල්ආරුවෙන් ආරම්භ කළ යුද්ධයේදී විතරක් යුධ හමුදාවේ හය දහසකට අධික සෙබළුන් පිරිසක් ජීවිත පරිත්‍යාග කර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකා යුධ හමුදාව අද හැට වෙනි සංවත්සරය සමරන්නේ ජීවිතය පූජා කළ සියළුම වීරයන්ලෝකයේ අසමසම වීරයන් බවට පත් කරන විජයග්‍රහණය ලබා ගෙනයි.
මිත්‍රවරුණි, ලෝකයේ බොහොමයක් හමුදා තමන් සැදූ දියුණු යුධ උපකරණ ප්‍රදර්ශණය කීරමටයි යුධ හමුදා පෙළපාළි සංදර්ශන පවත්වන්නේ. ඒ අයට ලෝකයේ දියුණුම න්‍යෂ්ථික අවි, යුධ අවි ප්‍රදර්ශනය කරමින් පෙළපාලයේ යන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදයට එරෙහි සටනේ ‘විජයත්‍රහණය’ උරදරා සංදර්ශන පවත්වන්න පුළුවන් අ‍ෙප් ශ්‍රී ලංකා යුධ හමුදාවට පමණයි. ඒ අද ලෝකයේ හමුදා ධජ අතර අභිමානයෙන්ම ලෙල දෙන ධජය සතු වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට. ශ්‍රී ලංකා යුධ හමුදා ධජය අද අපේ ජාතික ධජය ශක්තිමත්, ප්‍රාණවත් කරන ධජය බවට පත්වෙලා තිබෙනවා.
මිත්‍රවරුනි, හමුදා මෙහෙයුම් වලදී සෙබළුන්ට උපදෙස් දෙන්නේ සතුරා විශ්මයට පත්වෙන ආකාරයට ප්‍රහාර එල්ල කරන්න කියලයි. සතුරා පුදුමයට පත්වෙන ආකාරයට පහර දෙන්න කියලයි. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව සතුරා පමණක් නෙවෙයි ලෝකයම පුදුමයට පත් කරමින් තමයි මානූෂීය මෙහෙයුමේ යෙදුණේ. ආසියාවේ ත්‍රස්තවාදය තියෙන සියළුම රටවල් අපේ මේ යුධමය විජයග්‍රහණය අධ්‍යනය කරනවා. දියුණුම අවි ආයුධ තිබිලත් ත්‍රස්තවාදය ජය ගන්න බැරි වුණා, දියුණු රටවල් අපේ හමුදාවේ විජයග්‍රහණය අධ්‍යනය කරනවා.
මෙතෙක් ලෝකය නුදුටු මිලේච්ඡ සටන් ක්‍රම ත්‍රස්තවාදීන් ලෝකයට හඳුන්වා දුන්නා. අපේ යුධ හමුදාව ඒවාට මුහුණ දීලා ජය ගන්න ක්‍රම සහ විධි සටන් කළා පොතට හඳුන්වා දීලා තියෙනවා. ත්‍රස්තවාදයට එරෙහි සටන් ක්‍රම අධ්‍යනය කරනවා කියන්නේ පසුගිය වසර තුනක කාලය තුළ අපේ යුධ හමුදාවේ ක්‍රියා කලාපය අධ්‍යනය කරනවා කියන එකයි. ත්‍රස්තවාදය ජය ගන්න අපේ ආරක්ෂක හමුදාවේ ක්‍රියා කලාපය අධ්‍යනය කරනවා හැරෙන්න වෙන මාවතක් කාටවත් නෑ.
ත්‍රස්තවාදයට එරෙහි සටනේ ජයග්‍රහණය සොයන්න අර පෙනෙන යුධ අවි බලා ගැනීමෙන් ඒවායේ වෙඩි බලය අධ්‍යනය කිරීමෙන් පමණක් බෑ. ඒ සඳහා ශ්‍රී ලාංකික සෙබලාව හදාරන්න වෙනවා. ඔහුගේ වීර්යයත්වය, කැප කිරීම අධ්‍යනය කරන්න වෙනවා. ඔය පෙනෙන ආයුධ සහ උණ්ඩ ලෝකයේ වෙනත් හමුදාවකට දී ලොව දියුණුම ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට යවන්න. අපි ලබා ගන්න ජයග්‍රහණය විජයග්‍රහණය ඒ හමුදා වලට ලබා ගන්න බෑ. එහෙම නම් මේ විජයග්‍රහණයේ රහස කුමක්ද?
එය තිබෙන්නේ සෙබලාගේ වීරත්වයත්, පරිත්‍යාගයත්, ජනතාවගේ කැපකිරීමත්, නායකයින‍්ගේ සැළසුම් සහගත මෙහෙයවීමත් මතයි.
නිවට කමට මනුෂත්වය දිනා ගන්න බෑ. නිවට කමට, දීන කමට මනුෂත්වය දිනා ගන්න බෑ. මනුෂ්‍යත්වය හමුවන්නේ ආදරය හදවතේ දරා ගත්ත වීරයන්ට පමණයි. ඔබ දන්නවා අපේ සෙබලා යුද්ධයට ගියේ අතක තුවක්කුවක් අනෙක් අතේ මානව හිමිකම් ප්‍රඥප්තියත් හදවතේ දරු සෙනෙහසත් පුරවා ගෙන කියලා. ඒ නිසා අපි මේ ලැබුවේ මනුෂත්වයේ විජයග්‍රහණයක්. වීරයින්ව ජාත්‍යන්තර යුධ අධිකරණ වලට ගෙනියන්න හදන නිවට පිරිසක් දීනයින් පිරිසක් මේ රටේ ජීවත් වෙනවා. නමුත් ඔවුන්ට කවදාවත් මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගන්න බෑ.
සමහරු අපේ හමුදාවෙට අභූත ‍චෝදනා කරනවා. සමහර දියුණු රටවල් තමන්ගේ හමුදා මෙහෙයුම් වලට යැව්වහම කරන විනාශ ලෝකයම දන්නවා. ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් කී දෙනෙක් නම් සිවිල් වැසියෝ මරා දාලා ඇත්ද? ඒවා වහා ගන්න මානූෂික මෙහෙයුමක යෙදුණු අපේ හමුදාවට ස්ත්‍රී දූෂණ ‍චෝදනා, මානව හිමිකම් චෝදනා එල්ල කරලා ඇඟිල්ල දික් කරන්න එපා. අපිට බොරුවට ඇඟිල්ල දික් කරන කොට ඇඟිලි හතරක් ඒ රටවලට දික් වේවි. මතක තියා ගන්න අපේ හමුදා යුද්දෙදි, අසරණ අම්මලාට වින්නඹුකම් කරන්න තරම් මානුෂික වුණ හමුදාවක්. ඒ විනය බොහොමයක් රට වලට ගොඩ නගා ගන්න බෑ. අපට අඩම්බරයෙන් කියන්න පුළුවන් අපට විනයගරුක හමදාවක් ඉන්නවා.
මිත්‍රවරුනි, ශ්‍රී ලංකා යුධ හමුදාවට ශක්තිය සපයන හුස්ම වුණෙත් රටේ ජනතාවගේ ආදරයයි. මේ අසමසම සටනට නායකත්වය දුන්න ජනතාව තමන්ගේ දූ දරුවෝ ශ්‍රී ලංකා යුධ හමුදාවට පරිත්‍යාග කළා. මේ විජයග්‍රහණය ලබනතුරු ඔබවත්එයට නායකත්වය දෙන රජය් රැක ගත්තා. දුක් කරදර ඉහිලුවා. යුද්ධය ජය ගන්න නම් ඒ රටේ ජනතාව ඊට සූදානම් කරන්න ඕනෑ. අපේ ජනතාව එක සේසත් වුණේ මැයි 18 වෙනිදා නොවෙයි.
අපි ස්ථිරසාර අදිටනකින් ත්‍රස්තවාදයට එරෙහිව මාවිල් ආරුවෙන් ගමන පටන් ගන්න කොට ජනතාව එකසේසත් වෙලා හිටියෙ. සියළු ජනතාව එක හඩින් කීවේ මේ ත්‍රස්තවාදය සදහට පරදවමු කියලයි. ඒ ජනතාව කෙරෙහි විශ්වාසය තබන්න. ඔවුන් රැක ගන්න.
මිත්‍රවරුනි, ශ්‍රී ලංකා යුධ හමුදාව මුල් වී දිනා දුන් නිදහස රැක ගැනීමට අවශ්‍ය සියල්ල අපි දැන් ඉටු කරනවා. ත්‍රස්තවාදය උපදින්නේ, ඔවුන් නඩත්තු කරන්නේ, ඔවුන් පෝෂණය වෙන්නේ රටේ ඌන සංවර්ධනයද, ජාතික දියුණුවක් නැති කමද? එහෙම නම් ජාතික දියුණුව ඇති කිරීමේ වගකීම අපි බාරගෙන තිබෙනවා. ඒක රටේ නිදහස වෙනුවෙන් ජීවිතය කැප කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීරයන් ගේ ජීවිත වලට වටිනාකමක් ලබා දෙන සටනක්. ඔවුන්ගේ අහිමි වූ ජීවිත වලට වටිනාකමක් ලැබෙන්නේ මේ රට සංවර්ධනය වුණොත් පමණයි.
මිත්‍රවරුනි, ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදි යුධ හමුදාවේ වීරත්වය දුටු සිහි නුවණ ඇති කිසිවෙක් යළිත් මේ රට බෙදන්න අවි අතට ගන්නේ නැති බව මට විශ්වාසයි. ඒ වාගේම අපි මේ රටේ ඇති කරන දියුණුව දකින කිසිවෙක් වෙනත් රටක් ගැන සිතන්නේ නැති බව නොඅනුමානයි.

ඔබ සැමට සුභ අනාගතයක්!''

පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2006 රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

පරිගණකය ආශ්‍රයෙන් ගිටාරය සුසර කරගන්න පහසු ක්‍රමයක්

මීට අවුරුදු කිහිපයකට ඉහත ගිටාරයක් මිලදීගෙන වාදනය කිරීම පුහුණු කලත්, එය සුසර කරගැනීමේ ක්‍රම ගැන එතරම් අවධානයක් යොමු කලේ නැහැ. නමුත් පසුව එහි ...